December 29, 2014

බිඳු වැහි

වැහි වලාකුළු අත ගගා
ලොකුම වැහි කැට ඇහිඳලා
අහස නුඹ සතුටු වෙනවද?
පුංචි මල්වල පෙති කඩා

December 25, 2014

පිනි කඳුලු

කියන් තුරුපත්
ඔය පිනි බිඳුද?
නැතිනම්
දිනෙන් දින වෙන් කෙරෙන
ගස් වැල් පඳුරු පැළෑටි
ආදී දහසකුත් වූ
සොයුරු සොයුරියන් වෙනුවෙන්
සලන කඳුළුද?

December 22, 2014

වසත් රැඟුම්

පුංචි කොබෙයියො
කිරිල්ලිට පේන්න
නැටුවට කමක් නෑ
ඒත් ඔය ඇල්බීසියා මල්වල
නටු හයිය නෑ

December 14, 2014

සිඳුණු ගඟ

හිනාවෙලා ඉඳහන් මැහැල්ල
උඩහට වහිනවලු...

December 12, 2014

භව නිසරු

ගිහි ජීවිතෙන් මිදුණු මිනිසා
පඬුවතින් සැරසී
වෙහෙර බිම සක්මන් කරයි

නියඟයක රුදු සුළඟ පැමිණේ
පහන් සිල සෙලවේ
ජීවිතේ රස අසිරි සිහිවී
දැමුණු සිත සෙලවේ

මලසුනින් මුදු සුවඳ පැමිණේ
පහන් සුව මතුවේ
ජීවිතේ භව නිසරු සිහිවී
නිවන් මග හෙළිවේ

December 10, 2014

නිත්‍යය සත්‍යයයි

හිරු මඬල,
නිත්‍යයනම්.

December 8, 2014

සබඳ...
මට කවියක් ලියා දෙන්න...
මා වෙනුවෙන්...
මා එය මලක් කර ඇගේ හිසේ ගසන්නම්...
මෙතෙක් කල් මා...
ලියු කවි පරවුණා...

December 5, 2014

ගිනි රැසින් පිළිස්සී ගිය මහ පොළොව මත වර්ෂා ඇද හැලෙනු ඇතිය සිතා දෘඩවු පොළොව මත ප්‍රාණය ඉහිරවමි...

පිපාසයෙන් පත්‍ර වැහිරී ගිය වෘක්ෂ මත ලා දළු පිපෙනු ඇතිය සිතා කුශවූ වෘක්ෂ මත ස්නේහය තවරවමි...

ක්ලේෂයෙන් වැහිරී ගිය මිනිස් සිත් නිවී සැනසී යනු ඇතිය සිතා බොරවූ මිනිස් හදට ප්‍රේම කරමි...

December 3, 2014

රළු හිරු රැස් ද,මුදු සඳ රැස් ද...
දෙතැනකින්...
පොළොවට බැස...
එකසේ අතුරුදන් වෙති...

December 1, 2014

අතීතයට ගොස් මා මැරූ,
ඝාතකයා මමය...
මළකඳත් මමය...
වර්ථමානයට විත් මා බිහිකළ,
වින්නඹුව මමය...
බිළිඳාත් මමය..
නෂ්ට වූ මමය..

උපන් විට කෑ ගැසූ හඬ,
මරණ්යේ මර හඬ,
එකට එක්වී,
උපේක්ෂාවයි,අනාගතය...
දුකක් නැත,සතුටු නැත.

November 28, 2014

ගුරු සෙනෙහස

මවු කිරි පෙවූ මගෙ අම්මා හැරුණු කල
සිප් කිරි පෙවූ ගුරු අම්මා සඳකි මට
ගත දා බිඳු සැලූ මගෙ පිය හැරුණු විට
නැණ දා බිඳු සැලූ ගුරු පිය හිරුය මට

November 26, 2014

ප්‍රාර්ථනාවක්

මෛත්‍රී බුදු හිමියනේ
නිවන් දුටු දා ඔබේ සසුනේ
අපේ අම්මයි තාත්තයි
විහාරේ පිපි මං
ලොකුම අරලිය කිනිත්තයි

November 17, 2014

උමතු කත

තුෂර පිනි බිඳු හඬ නගා
සීතලේ ගීතය ගයන්නේ
බස් නැවතුමේ රළු පෙරවුමේ
කවුද මේ නිදි සුව සොයන්නේ

November 14, 2014

මම මගේ.......

අතක් නැති හිඟන්නෙක්
පයක් නැති හිඟන්නෙකුට
බැණ වදී
&අනිත් කකුළත් කැඩියන්
මගේ පොට් එකට ආවට*

November 12, 2014

නික්ම යමි

අවසරයි මට යන්න
හිත බිඳුපු රත්තරන්
අලුත් ලෝකෙට මගේ
ඉඳුල් ප්‍රේමෙත් අරන්

November 10, 2014

පිය රිදුම්

ඇයි සමනලී දුර ඉගිලුණේ
සිත රිදෙන බව දැනදැන මගේ
මමම දුන් වෛවර්ණ අත්තටු
සලා ඉගිලී ඇයි ගියේ

November 7, 2014

බැඳීම

මායිමේ වැට බැඳෙද්දී
බිඳෙන්නේ සිත් පවුරමයි
කට පුරා අයියා කියූ
සිත පුරා මල්ලියි ඇසූ

November 5, 2014

පැවිදි

ආශා මාරුත ඉඳුරු සිදුරකින්
රහසේ ඇදිලා රළ නංවන කල
සිත් වෑ බැම්මේ වදිනු නොදී
මා ගුරු හිමියන් සිත රුව තුළ වී
මසිත රකී රළපනාව වී......

November 3, 2014

ලොතරැයිය

එකතු කර
විසිකෝටියක්
එකෙකුට දෙයි
එක කෝටියක්...

October 31, 2014

තහනම්

ආදරණීය,
පර මල

October 29, 2014

දැවෙන ඔබ

දල්වන තුරු
ඉවසුම් නැතිව සිට
දල්වා,
මුළු හදවතින්ම
පහස විද..
මාගේ දෑගිලි තුලම
දැල්වී පිච්චී යන ඔබ...
හරියට
තව මොහොතකින්
අවසන් වන
මාගේ ප්‍රේමය නොවන්නේද..?

October 27, 2014

කුකවි

සතියකට වතාවක්
මහගෙදර උළු දකින
සිරිදාස කවියෙක්ය
මව් ගුණට කවි ලියන

October 24, 2014

ආදරයේ මරණය

ලා හිරු රැස් සේ මාවෙත ආ
කුනාටුවක්  සේ මාහැරගිය
කඩුපුල් මලය නුඔ මාගේ

කෙලිලොල් කමින් ගතකල
ඒ සුන්දර අතීතය
සිහිවී හඬයි මා අද ඔබ ලඟ

සුදු ඔසරියකින් හැඩවූ ඔබ
දුක් මුසු මුහුනෙන් යුතුව
මා දෙස බලා සිටිනුයේ ඇයි ද මා ප්‍රියාවිය

ඔබ දකින මේ අවසන් මොහොතේ
කළු මේඝයන් ඇදෙයි අහස් දිය වැටීමට
එම වැහිපොද තුලින් ඔබ
මා හැරදමා යයි සෑම දාටම

October 22, 2014

ආදරයද?

දහසකුත් සොඳුරු නෙත්
දුටුවමුත් නිති පතා
ඒ එකදු දෑසක
නොදුටු ලෙන්ගතු කමක්
පිරී ඉතිරෙන
ඔබේ අහිංසක ඇස්
ඉඟි කරන්නේ
අදරයමද?????????????

October 20, 2014

සඳ රැයක වැව් දිය

උනා සළු පිළි
සඳක් වැව බැස
දිය කෙළී...
කෙනෙක් ඒ දැයි විපරමින්
තව සඳක් තරු අතර වී....

October 17, 2014

ගොවියෙක්මි

පිළිසිඳ නබෝ ගැබ
වැහිවළා කලලයක්
ප්‍රසූත කරන තුරු
බලා හිඳිමි

October 15, 2014

සරසවි පරිණාම

පොළොස් ඇඹුල්
කරවිල බැදුම්
මීට්ස් බෝල්ස්
නූඩ්ලස් වෙයි

October 13, 2014

ළංව බැලීම

මල් පෙත්තක
අකුරු පෙළක්?
ඔහෙ පලයං 
මිනි කවියක්...

October 10, 2014

ගිලිහුණු පිය සෙනෙහස

පේනු තුනේ ප්ලග් ටොප් එකේ අර්ත් වයරේ ගැලවිලා
හෙන පුපුරන,අකුණු වදින මහා මුසල අඳුරු දවසේ
ප්ලග් ටොප් එක උණු වෙලා

October 8, 2014

නො-එබෙන යතුර

එබෙන මිරිකෙන යතුරු පුවරුවේ
මැද තනිවූ කුහුඹුවෙකු මෙන්
ඇඟිලි තුඩෙන් , නියපොත්තෙන් බේරී
කිසිදා නො-එබෙන යතුරක් සොයමි මම

October 6, 2014

තහනම්

තහනම් අඩවියේ සරණා යුවැත්තියේ
තහනම් දොරේ අත තියාපු යුවැත්තියේ
තහනම් ඵලේ රස බලාපු යුවැත්තියේ
තහනම් උනේ මාසිකයද යුවැත්තියේ

October 3, 2014

මගේ මිතුරා

රළු පොළොවේ ගල් ඇණි ඇණී දුවද්දී
පයේ නොවූ
මෘදු පොළොවේ ඇවිදිද්දී
පිහිටට එන බාටාවකි

October 1, 2014

බඹරු

ඉටි මලෙත්
සොයති රොන් 
කවර් කෙරුමට
දවසෙ ටාගට්

September 29, 2014

සමනල් විය

ආදරෙන් දැන් බැලුවට
එදා පිළිකුල් කරපු දළඹුව
මමයි ළමයෝ.....

September 26, 2014

බැලුම් කවි

ඉරණම මගෙ පිපිරීමයි
ඒත් කඳුළු දැකුම දුකයි
එපා තවත් පුම්බන්නට
මාව චූටි දුවේ........

September 24, 2014

ව්‍යාධි

හැමදාම එක විදියට
ඉන්න බෑ චූටි මල
බලන්න දැනටමත්
අවපැහැගැන්වෙලා
තව ටික දවසකින්
නටුවෙනුත් වැටෙයි

September 22, 2014

අමාවක

තාරුකී මං හෙට ඕෆ්
වැඩක් ආවොත්
පොඩ්ඩක් බලනවද?

September 19, 2014

විප්පයෝගෝ

සිඳී ගිය පසු
සිතේ වෙර බල
මලෙත් නටුවෙත්
බිඳුණි අත්වැල....

September 17, 2014

රැකීම

අහිංසක ගොවි දරුවා
බලන විට හිස හරවා
කපාගත් වී කරල අරගෙන
බොහෝ දුර ගොස්
මාල ගිරවා.......

September 15, 2014

බාදුරා ඇරයුම

සබඳ බඹර,
පියාසැරියෙන් වෙහෙසවීද
එන්න
මේ මධු බී
ගිම් නිවාගන්න...

September 12, 2014

බස් තොරණ

දෙවිවරුන් මැද 
බුදුරදුන් වැඩ
විහිදුවති රැස් 
නිවී දැල්වෙන.....

September 10, 2014

විත

අඩක් පුරවා
රාගයෙන්
සැන්ඩි කළෙමි
ඉතිරි අඩ
ආදරයෙන්.....

September 8, 2014

මතට තිත

තිතක් මතට
තියනු කෙලෙසද..
මගේ සිහිනෙට
ඔබ එබෙනු සඳ..

September 5, 2014

නුඹ

නිසල
සිත් විල
සසල කල
ගල් කැටය

September 3, 2014

අනිත්‍ය

නැති විට වැට හෙන
ඇති විට වැට නොහැන
ජිවිත්යේ සදාතනික සත්‍ය.

September 1, 2014

අතීතය

රජෙක් විලසින්
එදා රැකි ඒ
කරල් බරවූ අතීතය
තාම මතකද
පුරන් කුඹුරේ
සුසුම් හෙලනා
වළන් මූණෝ
උඹට

August 29, 2014

සුළු දිය තදියම

ගමෙත් නගරයෙත්
වෙනස කියූ
තවත්
පොදු සාධකයකි

August 27, 2014

138

ඇඟ මතින් යන ගමන්
මූණටම කෙළ ගසති
උනුන් හිටිවන හැපී
ලේත් කඳුළුත් හෙළති
දනෝ.......

August 25, 2014

වැරද්ද..

මා නොදකින..
මට නොපෙනෙන..
ඔවුන් දකින..
ඔවුන්ට පෙනෙන..

August 22, 2014

දම්ම පදය

කෙලෙස්වලින්
පට්ටෙටම
ස්ලෝ වුණු
පෙන්ටියම් සිත්වලට
හොඳ වෛරස් ගාඩ් එකක්

August 20, 2014

කැන්වසය

දන්නවද ඔයා
සිත්තරෙක් මං
ඔය නළල දෙනව නම්
හාදුවක් අඳින්නම්

August 18, 2014

ලෝකය සහ අපි

පුදුමාකාරයි
ලෝකය අප 
ජීවත් වන 
පණ ඇති සතුන් නොවටින 
මළ පසු අවශේෂ වඩා වටින.

August 15, 2014

වෙනස

දිනෙන් දින,
පායනා,
ආවර්තීය සඳ වතී...

August 12, 2014

ජාතිවාදය

හොර දෙටු කෙරුම් රුස්සා,
සිටින්නට නොහැකි හින්දා,
විප්ලවය ඕන මිනිසා,
පඹ ගාලකින් හින්දා,
හිස්ගෙඩිවල අඳින, 
ගැලවිජ්ජාවේ සිතුවම

August 6, 2014

...තරු හා මම...

අහස උනත් දන්නවා 
තරු 
වටින බව 
සඳට 
වැඩිය..

තරු නිශ්ශබ්දයි 
සඳ සන්නද්ධයි 

තරුව 
උබත් නිවි නිවි
දැල්විය යුතුය.
මං වගෙම
මැරෙනකන්ම...

August 4, 2014

මල් වඩම් අනවශ්‍යයි

මල් වඩම් අහිමි මළගමට
මල් මිටක් නොමැත මට
පුද දෙන්නට ඔබට....

August 1, 2014

පවුකාර කවිය (ද.?)

කෙටි දසුනක්
වී කඩුවක්
ඇනී හදේ 
යයි පලුවක්...

චීවරයක්
වී බැම්මක්
මවයි හිතේ
ගැඹුරු පවක්..

නොලැබ නිවන්
මතු බවයෙ දි
කාලකණ්නි
මගේ වෙයන්..

July 30, 2014

ඔහු මල පසු
ඇගෙ මල වට
පැණිබොන්නට
ඹබරු පිරෙති..
පැණි බිව් පසු
වැන්දඹුවකු
සයනය මත
තනිව නිදති..

July 28, 2014

හොද පොඩ්ඩ....

මං ගැන උඹ දන්නෙත් හරි පොඩ්ඩයි..
ඒ පොඩ්ඩ ඇතුලේ 
උඹ මගේ ආදරය සොරා ගත්තා...,
පොඩ්ඩකටවත් ඉඩක් නොදී..
උඹ මගෙන් ඩැහැගත්තා..
මගේ කියලා තියා ගත්ත එකම 
ආදරය....
අද මට උඹ අහිමි කරපු ආදරය
විතරක් නොමෙයි..
තව ගොඩක් දේවල්................
ඒක වත් රහසක් විදියට තියාගන්න දීපන්...
නැත්තම් මට මාව වත් නැතිවේවි...

July 25, 2014

ආදර කිටි කිටිය

හද මස් වැදලි අස්සේ
සුපිපුන සමන් මල් පෙත්තේ
කිටි කිටිය කෙතරම්ද මැද්දේ,
ආදර මිහිර එතරම්ය සඹදේ..

July 23, 2014

යුද්දෙ.....

යුද්දෙට හිතක් පපුවක් නැති උනාට..
ඒකට ගැලපෙන වර්ණයක් තියෙනවා...
ඒක විප්ලවයෙත්....ආදරයෙත්...වෛරයෙත් වර්ණයයි....
යුද්ධ කරන උන්ට කෙලවෙන්නෙත් ඔය කියන වර්ණය
නැතිවෙන්නම වෙඩි උණ්ඩයක් හරි බෝම්බයක් හරි
වැදිච්ච දවසටයි...
එතකම් පාස් කරමු බෝල...

July 21, 2014

සුර් වී...

නුඹ දුන් රස
එකට මුසුකර
බිවෙමි...,
හොද පදමට
සුර් වී...
වැලේ වැල් නැතුවම...
හති දමයි...,
බල්ලෙක් වගේ...

July 18, 2014

කාසිය

ආයාත කාසියකට
නිර්යාත වෙලාදෝ
මිනිස්කම...

July 16, 2014

ඒ නුඹමයි.....

අසීමිත පැහැයක් ඇති
හැබැයි දර්ශන තලයක් නැති
රූපරාමුව...
ඔබයි...
මුනගැසුනු බොහෝ දෙන අතරේ...
පැහැය ඇති නැති...
නමුත් මට අගෙයි...
දැනේනවා පැහැයේ තරම...
අන්ද වුනත්...,
මැවෙනවා නුඹෙ රුව...
ඇත්තටම ඒ නුඹමයි...,
මට දැනෙන විදිහට...
ඒ නුඹමයි.....

July 14, 2014

සිතුවිිලි....

හිතන්න දෙයක් නැත්තන් 
අතඇරලා දාන්න...
සිතුවිිලි මතුවේවි
ඒ සැනෙන්.....
මක් නිසාද අත් හරින්න වත්
පසුතැවෙන්න වත්
අවස්ථාවක් නොලැබේවි...,
සිතුවිලි නුඹට ඉඩ නොදෙවි....

July 11, 2014

හාදුව...

හීතලෙන් තැලිච්ච හාදුවක
රස උරන ගමන්...
නිරායාසයෙන්ම මතක් විය....
හාදුවේ තරම...
මගේ තරමටම
සමානුපාතික වන බව....

July 9, 2014

-අලුත් ගම වල ඉහිමු-

අපිත් යමු අලුත් ගම
බා ගන්න මාලුවෙක් දෙන්නෙක් 

අපිත් පෙන්නමු අලුත් ගම 
ෆස්ට් වෙන්න, ඔක්කොම  අතරින් 

අපිත් දොඩවමු අලුත්ගම ගැන 
පොර වෙන්න අනෙකට ඉහලින් 

අපිත් ලියමුකො  අලුත් ගම වත
ඈදවා අප අපගෙ සතුරන්

අපිත් විකුනමු  අලුත් ගම අළු
අපි අපිම වෙනුවෙන් 

අපි ඉහ ගමු කුමන වල උව 
කල දුටුව කලියෙන්

July 7, 2014

අහස

අහස
මේ අහපං
වස්සපං
වැහි බිඳු ගොඩක්
කටෝර වෙච්ච
මහා පොලවට

ආදරය
මේ අහපං
වස්සන්න එපා
එක සෙනෙහෙ බිඳක්
තනිකම හිමි
මගෙ හදට

July 4, 2014

සෙංකොට්ටං

ගොයිගමයන්ට
අයිති නැති
නුඹලට අයිති
එකම දෙය....

July 2, 2014

මාරුකාසි නෑ ජීවිතයේ...
ලොකු කොළ මාරු කරන්න...
හැමදාමත් පොඩි කොළ වලට...
ආදරෙ කරමි.....

June 30, 2014

දේශය මරා ප්‍රේමීයා තනමි

මේ පොළොව
අපේය,
විසිය යුත්තේ
අප පමණකැයි,
එකෙක් කීය......
අනුමත කළෝය,
සෙස්සෝ.....
"දේශප්‍රේමියෙකැයි"
නොපමාව පැවසූහ.
මේ පොලොව
අප සැමගේය...
සියල්ලෝ එක්ව විසිය යුතු,
තවකෙක් කීය...
තොල් කණපිට
හැරලූය සෙස්සෝ.....
"උන්මත්තකයෙකැයි"
සිරගත කළහ ඔහු....
නොපමාව...................

June 27, 2014

අනේ අපොයි මෙගා

ඉස්සර පෙන්නුවෙ
ඉන්දියාවෙ කුණු ගොඩවල්
දැන් එහෙම නෑ
රට වෙනස් වෙලා

June 25, 2014

වෘක මිනිසුන්

අපේ 
හදවත්හි
වෘකයන් ද වෙසෙති....
නිදා සිට,
අවදි වෙති,
ගොරවති,
පහර දෙති,
ලේ සොයති,
අඳුරම ප්‍රිය කරති....

June 23, 2014

බුදියනවා

චරිතයක් නැතිකල හැකි
ආදරයක් නැතිකල හැකි
ආත්මයක් නැතිකල හැකි
අති භයානක   වචනයක්

June 20, 2014

අහෝ ග්‍රැහැම්බෙල්

උඹට,
වෛර කරනවද...?
ආදරය කරනවද...?

June 18, 2014

අපේ අනාගතය

එන්න බලන් සකි
අලුත්ගම සිරි
පියනගමු රිසි
නිවහල් දේශයේ 
සාමකාමී සුවය විඳිමින්...

June 16, 2014

නුඹ

නෙතු
සනසන
කොළ
පැහැය

June 13, 2014

නයි නළඟන ගේ පුතා

නයි පැටි පුතේ 
රන් කැටි මුවට, ඒ කිරි නයි රහද 
උබේ අම්මව  
කැලෙන් ගෙනැවිත්,  නලා පිම්බම  
නැටුවෙ ඇයමයි
මට බය 
උබත් නයි විස වෙයිද 
දන දුටු ලැමත් 
නොදුටු ලයත් දකින කොට 

June 11, 2014

නවතින්න ?

ඇහිපිල්ලමක් යට
නවතින්න,
හැබැටම පිස්සුද..
තියෙද්දිත් ඉඩකඩ
ඇති තරම් මේ හදවතේ....

June 9, 2014

දෙවියෝ බාරයි කාපට් පාර

වැස්ස වලාහක දෙයියනේ 
අනේ නොවඩින්න 
කාපට් පාරට උඩින්
හයිවේ එකට යටින්..
කහ දියේ හෝදපු 
සුදු රෙද්දේ දවටපු 
දහයේ පඬුර මේන්...
බාරයි පරානෙකුත් 

June 6, 2014

අනිත්‍යය

කොච්චර සුවඳ හැමුවද, 
එය ස්ත්‍රී ලිංගික මල් කැකුලක්...

June 2, 2014

හිමාලයෙන් ඔසුවක් - බිදුණු සිතට

බිදුණු පසු සිත
කුමටද සොයා ඔසු
හිමාලයට ටුවර්

May 30, 2014

මට දැන්
ඇති වෙලා,
ඔයා ,
නැති කම.. !

May 28, 2014

ලෝකෙට බයේ
අපි ආදරේ නවත්වනකොට
කීයක් ඔට්ටුද !
ක්‍රිකට් වල වගෙ
ඩක්වත් ඇන්ඩ් ලුවිස් ක්‍රමයට
බැලුවනම්... !
එදත් මම ඉදිරියෙන් !!!
ඒත දැන් ඔයා
දිනුම් ...

May 26, 2014

එකමත් එක රටක,
විජේරාමෙ,
වේලුවනේ,
ලුම්බිනිය,
ඉසිපතනෙ,
කියන්නෙ බස් හෝල්ට් වලට,
බොෟද්ධාලෝක මාවත කිය්නනෙ..
බාගයක්..
නිල නිවාස තියෙන
පාරකට... !

May 23, 2014

ආදරෙන් බර වෙච්ච
වළා හැම තැන පිරිල
ඒ පුංචි හැම පොදෙම
මම නුඹේ නම ලියල
ජීවතේ මගෙ, නුඹයි
මට දැනෙන තුරු ඉඳල
වස්සනව ලොකෙටම
නුඹව නිය‍ෙඟෙක තියල !!

May 21, 2014

එයාගෙ කුජ හතේ
සෙනසුරු හිතේ
නිසා
මගේ සිකුරු
හැමදාම - අතේ -

May 19, 2014

මම, ඇයව
මම ය මාගේය යැයි
අල්වා නොගත්තෙමි..
එහෙත් ඔහු
ඔහුය ඔහුගේ ය යැයි
අල්වා ගති..
අපය අපගේය
කියා දෙයක් නැත..
- එය ඔවුන්ගේය -
නිවුනෙමි..!

May 16, 2014

සුදු පෙම්වතියට ලියූ කෙටි කවිය

මම නැඟිටිනකොට
උඹේ නිදි
උඹ නැගිටිනකොට
මගේ නිදි..!

May 12, 2014

ආගමික පෝෂණය

ඌර නොකන හරකව කන ඉස්ලාම් 
හරක් නොකා එළුමස් කන හින්දු
එළුවා නොකන කුකුලන් කන බර්ගර්
මොකුත් නොකා අරක්කු බොන බුඩිස්ට් 

May 6, 2014

අපි කොතනද

මිඩ්වයිෆ්ලා ඉදිරිපිට
නර්ස්ලා සටනට
ඩොක්ටර්ස්ලා සහයට
පේෂන්ට්ලා ඇපයට

May 5, 2014

අන්ප්ල්ග් බණ කියන්නේ කවදාද අනේ

දස ලක්ෂයක් ඉම්පෝටඩ් පිච්ච             මලේ 
පන්දාහයි ටිකට් පිංකම ඉදිරි               පෙලේ 
මික්සර් එකෙන් කවිබණ මිහිරියට        ඇහේ 
අන්ප්ලග් බණ කියන්නේ කවදාද          අනේ 

පන්දාහේ කොලයක් පිරිකරට               තියා 
මැසිමක් වොෂින් අටපිරිකර ලෙසට       කියා
මහා සඟ රුවන සෝෆාවට වැඩම          වලා 
දානය කේටරින් එකකින් සර්ව්              කලා

රහතුන් පහල වී ඇත රට හතර                 අතේ
බුදුරැස් විහිදෙනව දෙවියනි සෑම          කොතේ 
සුදු කිරි ගලනවා දුටු දුටු වෙහෙර              මතේ 
බුදු හිමි හිටියනම් පනිනවා ළිඳට              පුතේ

May 2, 2014

අනේ කුරහන්

උඹේ පාටයි 
උබේ නමයි
උඹේ රහයි 
මේ ඔක්කොම 
මට නම් දැන්
වස තිත්තයි

April 30, 2014

අපේ පුතයි මැති පුතයි

මැති පුතා නොගිය 
අපේ පුතා ගිය
කැම්පස් 

අපේ පුතා නොයන 
මැති පුතා යන 
කැසිනෝ 

April 28, 2014

උඹට කලින්...

උඹෙ හරුපෙට 
මගේ හරුපේ 
ගලපන්න බෑ...
මොකද උඹ වගේ නෙමෙයි මං....
උඹ ගලපන්න උත්සහ කරත්
උඹ පරාදයි....
මොකද මං දිනලා 
උඹට කලින්...

April 24, 2014

මැරෙන්න කලින්....

මැරෙන්න කලින් එක මොහොතක් හරි
මම මගේ වෙලා හිටියනම්....
අද මං වලට යන්නේ රජෙක් වගේ...
ඒත් එදා උඹ මගේ ලඟට වෙලා ඉන්න කොට
උඹ වටින්නෙ නෑ....
උඹ මට එදත් ආදරෙයි..
නමුත් මං උඹට ආදරේ කරේ නෑ....
අද උඹ මට ගොඩක් වටිනවා...
ඒත් උඹ මගේ ලඟ නෑ...
වරෙන් දාලායන්න කලින් එක මොහොතක්...
මගේ අන්තිම හුස්ම පොදවත් මගේ වෙන්න....

April 22, 2014

කලට නැති වැසි ,
අකලට වැටෙන තුරු බලා සිටින වැහිලිහිනියනේ...
දන්නවාද,
කට්ට පොළොව නොතෙමුනොතින් හෙට දොහටත්,
මගේ පැටවු ගින්දරේම කඳුළු පිහයි..

April 16, 2014

නොරටදී

තෙල් තාච්චියක
බැදෙන කැවුමක
සුවඳ දැනේ 
හිතට.............
කවුලුවෙන් එපිට,
හඬ ඇසේ
නම නොදත්
කිරිල්ලක..................
සිහි වේ,
අම්මා කවන
කැවිල්ලක රස...............
අප්‍රේල් 
14 දාවක් කොහිද,
සයිප්‍රසයට!!!!

April 11, 2014

ඔබේ නෙතු

දහස් ගණනින්
හමු‍වුණත් නෙතු ....
ඇයි ද මට ඕනෑ 
ඔබේ ඒ නිල් නෙතු ....
ඇයිද නොදනිම්
තවම නොදනිම්....

April 2, 2014

ෆොටෝ ග්‍රැෆර්ට පෙම්වතියගෙන්....................

Zoom කරන්නත් එපා
Edit  කරන්නත් එපා
Frame කරන්නත් එපා
අපේ ෆොටෝ එක
මෙ විදියටම
වඩා හොඳයි!!

March 31, 2014

ආදරණීය සෙල්වා.....................

අද ඔබේ 
උපන් දිනයයි
ඔබ නැතුව, 
වසර හතරයි............
අන්තිමට අපි ඉඳපු
මාර ගහ ලඟ
තාම ඔබෙ
සුවඳයි...........
පන්සිලෙන් මඩිනු බැරි
නිමක් නැති සිහින තුල
දහස්වර ඔබේ රුව
මැවී එයි,
සිනාසුනු ඇස් වලින්
දස දහස් වාරයක් 
කඳුලු බිඳු
පතිත වෙයි,

කලු උනත් ඔබ සුදුයි
සුදු වෑන් එක කලුයි...............................

March 19, 2014

access denied

ඇයගේ හදවතට
මුර පදයක් දැමූ බව
සිතා සිටියත් මම

කවුදෝ ඇවිත්
ඇය hack කර ගිහින්
දැන් access නැතිව මම

March 14, 2014

මොණරනැටුම් ගලට එන්න

වැහි බීරිම පාත් වෙච්චි
බක්මාසේ ළඟ දවසක
හීතල මීදුමත් එක්ක
මොණරනැටුම් ගලට එන්න

දිය සීරා රුරා යන
මොණරු නටන නැටුම් ගලට
පෑයුවත් හඳ නොපෑයුවත්
මොණරු එක්ක ගී ගයන්න
මතක ඇතුව කලිං එන්න

තරු වියනට යටින් එළුව
වැහි බීරිම යටින් ඉඳන්
තරු කීයක් පේනවාද
ගණන් කරලා මට කියන්න

March 12, 2014

Dedicated ප්‍රේමය

Uploading ඇති
Downloading නැති
නුඹ වෙනුවෙන්ම
වෙන් උන

March 10, 2014

සමානාත්මතාවය

මේ මහ පොළොව
ගැඹුරෙහි
වැළලී ඇත,
සාපලත් අතීතයක
නටබුන්,
මගේම සොයුරන්
ඝාතනය කළ
මගේම සොයුරන්ද,
කුටුම්බයෙන් උදුරාගත්
සැමියන්ද,
මව්වරුන්ගෙන් වෙන්කළ
පුතුන්ද,
උනුන් එකිනෙකා සමඟ
නිදයි මෙහි,
මහ පොළොව
සමව සළකයි
සිහලුන් වුව, දෙමළුන් වුව
මුසල්මානුවන් වුව
නොදිරා ඉතිරි නොවේ.

March 7, 2014

රුවැති

රුවැති එදා මා පැතු පැතුමන්
තවම ඇත මගේ හද තුල
පැතුමි නොමියයි මගේ හද තුල
මාව මියයයි ටිකෙන් ටික අද

රුවැති නුබ දැන් ඇත දිවයයි
මගේ සිතුවිලි මාව හඩවයි
නුබේ පැතුමන් සිතට නොහැගවේයි
හදෙහි පැතුමන් සෙමින් පහවේයි

රුවැති,
සිතේ රිදුමන් හුරැයි මට දැන්
කදුලු නැත මට හඩන්නට දැන්
නුබේ නමින් මා හැඩු කදුලැල්
මටත් නොදැනිම වියැකි ඇත දැන්.

March 5, 2014

මියැදෙන කවි සිත

ආදරය, විරහව
හමුවේ.....
විකසිත උ කවි සිත
අද මියැදෙයි

March 3, 2014

•තරු පුළිඟු•

මම දුර තියා
තරුවකට පෙම් කලෙමි
එහෙත් ලංවන තුරු
ඒ නුඹේ දුම්වැටියෙන්
පැන ආ පුළිඟුවක් බව
නොදත්තෙමි.
ජීවිත කැන්වසයෙහි 
වැරදී බොඳ වූ
පින්සල් පහර ..

අග්‍රගන්‍ය 
කලා කෘතිය..

පාට  පින්සල් ඉරි මිස
කැන්වසයෙහි කඳුලු

දු‍ටුවෙක් ?

February 28, 2014

ආදරය

ඔයා මවපු ආදරයේ සීමාවන් වල අද මං
අතරමං වෙලා..
ගොඩක් උත්සහා කරා හදාගන්න
ඒ ආදර බැදීම් සිමාවන්
ඒ හැමදේම ඔයා වෙනුවෙන් 
අමාරුවෙන් හදා ගත්ත සිමාවන්”
අද මං තනියම විිඳිනවා...විිඳවනවා...
ඔයා මගේ ලඟ නෑ.....
ආදේශ කරන්න ආදරයකුත් අද මගේ ලඟ නෑ....

February 26, 2014

මිනි කවි

මිනිරමින් පතක උලාපු
මගෙ හදේ දිදුලාපු
කියවලා නලල අතගාපු
ලියන මකන මගේ කවි
පලකරමි මිනි කවි වල
ඕන මගුලක් වෙන්න

February 24, 2014

පෙම්බරී

නාහෙට අහන්නැති
පෙම්බරී...නුඹ මට
ඉහල ගියත් එකයි
පහල ගියත් එකයි

නහය ගාවට ගිලුන
මගේ නහයට උඩින්
අඟලක් ගියත් එකයි
දෙකක් ගියත් එකයි

නුඹ හන්දා ජීවිතේම
පටලා ගත් මට දැන්
උන්නත් දාහයි
මලත් දාහයි

February 21, 2014

නුඹ

හැදී හැදී බිඳෙන සිත
කෙදිනක නතර වේද
දුක් විඳ විඳවමින් තව
හැපී හැපී හඬනු ඇත සිත
මතු මතු අහිමි නුඹ සිහිකර

February 19, 2014

නුඹ

දුරකතන ඇමතුම
කිසිදා නොලැබෙන
ලබුනොත්
තුටින් ඉපිලෙන

February 17, 2014

තාමත්...

දහස් ගණනක්
ඇවිද ගිය ඒ
වෙරල වැලි මත
අප දෙපා සටහන්
වෙන්නැති...

අදත් යන එන
මගදී නැවතී
ඒ, පා සටහන්
සොයනවා මම
තවත් නුඹ
දන්නැතුවැති

February 14, 2014

අලුත් සමනලී...

රෝසම රෝස කොපුල් ඇති
නිල්ම නිල් ඇස් ඇති
පුංවිම පුංචි 
දගකාර සමනලියක්
ආවා ෆේස්බුක් වැට් එකට

ඔබ අහම්බෙන් ආ සමනලියකි
දැනුනේ සොදුරු බවකි
ඇසුනේ මිහිරි බවකි
වෙනදා නොවූ ලෙන්ගතුවකි
හමුවූ ඔබ වෙනස් කෙනෙකි....

February 12, 2014

හදිස්සියේ ගිලිහී ගිය තරුව

හදිස්සියේ ඔබ හමුවී...
ඇයි ද මග හැරුනෙ එසැනින්...
පෙනී නොපෙනී යන
තාරකාවක් මෙන්....

February 10, 2014

ඉගිලී ගිය කාලය

අතීතය ගෙවී ගොස්
ඇවිත් ඇති කාලයේ
සියළුදේ ඇත වෙනස් වී...

හිතා ගන්නට බැරිතරමටම
කාටත් හොරා ඈත් වී
කාලය ඉගිල ගොස් ඇත දුරස් වී...

ඒත් කොහොම අමතක කරන්නද
බැඳුනු හිත අතීතය
සුන්දර මතකයන් එක්ක මුසු වී....

February 7, 2014

උපාසක මුදලාලි...

නිවන සොයන්නට වරක්
එලොව ගිය උපාසක මුදලාලි
යලි ඉපිද සෙව්වා පෙට්ටගමේ
යතුරු කැරැල්ල..,
මතක් වී ඔහුට එය
අමතක වී ඇති බව...

February 5, 2014

නිර්වාණයේ දොරකඩ හිඳිමි

මේ යන විදියට
හෙට අනිද්දාට
පුර හඳ පායන දාට
දිලිසෙන තට්ට
පොරකයි සේල් දාන්ට
නිවන් දොර මුල සිට
නිවනට යන්ට
ඕනනං එන්ට

ඔබට නොපෙනේද..!

සයුරු තෙර, මඟ හසර නොම දැන
අතරමං වන විසල් නැවු මත
පාර කියනා ප්‍රදිපයකට
ඇයිද මග කියනු බැරි
මා සතුව ඇති කුඩා
ඔරුවට..!

February 3, 2014

සිත්තම

කුරුටු ගෑ සිත්තම් අතර සිත්තමක් දුටුවෙමි
පාට පාට පසුබිමේ තිත් ඉරි තැවරුන
අපුරු සායම් පොඩ්ඩ...
මතුපිටේ සැරසිලි ගොඩයි....
ඇස් කර කව කව නලියනවා
විස්තරේ හොයන්න
සිත්තමේ ගැඹුර සොයාගන්න..
ගැඹුර වැඩියි අල්ලලා දාමු.....

January 31, 2014

ආවර්තනිකතාව

එයා..
ඔයා..
මෙයා..
ඒයි..
තමුසේ..
තෝ..
බැල්ලි..
.
.
.
.
එයා..

January 29, 2014

අවසානයට නිමාවක්....

ගෙවෙන අවසානයට පෙර එක් මොහොතක්
හිනාවෙන රෝස කම්මුල් වලින් එක් අරමුණක්
දියාරු වෙන දින ගණන් වලට දුන් විරාමයක්
හදවතින් ගතු කියන එකම එක ප‍්‍රාර්ථනා සිහිනයක්
පුරන්නෙමි හදවතින්ම ඔය විඩාබර අවසානයට නිමාවක්...,
හදවතින්ම......

January 27, 2014

කියා දෙන්න මට

ඇද වෙච්ච අකුරු
වලින්..
හැඩ වෙච්ච ඔය
දැස..
කැටයම් කරන්නෙ
කොහොම
මම...!

January 24, 2014

එකඟතාවය

මට තරහ,
මගෙ එක්ක...
ඔයාටත් තරහ..
මා එක්ක..
අපි දෙන්න
එකඟ වුනේ
ඒක එක්ක..

January 22, 2014

රතුවුණ ඇස්

හ්ම් ඇත්ත...
අපි දෙන්නම කලේ විහිළු....
මම ඔයාට,
ඇත්තට,
ආදරෙයි කියල
විහිළුවට තරහ වුණා...
ඔයා.. මට..!
විහිළුවට,
ආදරෙයි කියල,
ඇත්තට තරහ වුණා..
---- රතු වුණේ මගේ ඇස් --

January 20, 2014

කඩදාසි මල්...

කවි ලියපු කොලය හරි රටාවක නවනවා
තවත් එක මලක් මම අදත් රෑ හදනවා
හදන හැම මලම කඩ දාසි බව හිතනවා
වුණත්, ඉන් නුඹෙ සුවඳ හැමදාම හමනවා

January 17, 2014

දෙකේ දුර

Shift එක නැතිව
නම් “ එ“ යා.....
Shift එක එක්ක
නම් “ ඔ“ යා.....
....
යුනිකේත දන්නවනම්..
ඒ දෙකේ දුර..

January 16, 2014

අපේ ගැන

කවරු හරි ලියනවා නම් ඉතින් මගේ ගැන
ඈ සොයා ගෙන ගොසින් පතුලටම හෙමින් කැන
කලුපාට අඳුර කොණ අත ගගා හෙමින් ඇන
ගලන දුක්බර පෙමින්, අපේ ගැන ලියනු මැන

January 15, 2014

මල @)$%^&*(

මැටි ගොඩක් ඉදිරියේ
වියලෙන්ට පෙර
පර වෙයන් මල

January 13, 2014

මාව හරි හැටි තාම අඳුරා
ගන්න බැරි බව දැනෙයි ඉඳුරා
ඒ නිසා ඇය මගෙන් උදුරා
ගන්නෙපා මම ඇගේ කිඳුරා

January 10, 2014

මම ඇයට ආදරේ
බව හොඳට දැන දැනත්
ඇයට කවි ලියන එක
හොඳද මේ වෙන අයත්
ඇගෙ හිතේ ආදරේ
මගෙ නමට නැති වුණත්
දැන ගනින් නුඹටමයි
මගෙ කවිය, හෙට මළත් !

January 8, 2014

නාට්ටාමිගේ ආර්ථික විශ්ලේෂණය

ඉස්සර
පාංගෙඩියක් ගත්තා
කර ගසා එක මුට්ටයක්
ඒත් දැන්
ගන්නට පාංගෙඩියක්
කරගැසිය යුතු වේ මුට්ට දහයක්

January 6, 2014

හදුනා ගතිමි...

එකක් හැර සියළුම දේ
හදුනා ගතිමි...
එනමුදු..., 
හදුනා ගැනිමට නොහැකි වු එකම දෙය
නුඹේ ආදරයයි...

@ තවම සොයමින්.....

January 3, 2014

වාරු නෑ...

මොහොතින් මොහොත සිතුවෙමි
සිතන්නට දෙයක් සොයමින්
ඇවිදයන්නට කාලය හරහා...
පය වාරු නෑ මොහොතකට නැවතී
ගත කරමි මගෙම සොහොන ලඟ,
හැරයන හුස්ම පොද වඳිමින්.....

January 1, 2014

දිය බිදුව සහ ආදරය.....

හිරි වදින හීන් පෙති අතර
පුංචිම පුංචි දිය බිඳුව බර නෑ
සීතලයි..නැවුම් පෙති මතට... 
හාදු දුන් දිය බිඳුව..,
මියෙන බව දැන දැනත් 
පෙම් කරමි නුඹට මම
නුඹෙ ආදර රෝස පෙති සුබුල....
තනි මකන්නම් හිරු කුමරු එනකන්ම මම......