December 30, 2013

ප්‍රති උපකාර

ස්තුතියි...
ඔබ මට දුන්න පුංචි දේවල් වලට
බොහොම ස්තුතියි...
ඔබ මගෙන් ගත්ත ගොඩක් දේවල් වලට

December 27, 2013

පාලම

සාදා නිම කල පාලම
බලා හිඳියි
නැකතක් එනතුරු
දේශපාලක
විවෘත කරන්නාට

December 25, 2013

ර‍ට පෙරට

එන්න ළමයි
ජාතික ගීය කියමු
වැඩ කරන්න
පස්සෙ බැරියැ

December 23, 2013

පොෂ් දුක

පෙම්වතිය සමග ගෑටූ
පොෂ් හෝටල් ටැග් කරමින්
පොෂ් මිතුරා
පෙම්වතිය හැර ගිය සොවින්
ෆේස්බුකියේ නහයෙන් අඬයි

December 20, 2013

බේබදු දේවාලය

බේබද්දන්ගේ බදුවලින්
කා බී ජීවත් වෙන
බේබදු දෙවියන්ව අදහන
රජයේ සේවක
සැදැහැවතුන් පෝලිමක්
බේබදු දේවාලය ලඟ

December 18, 2013

වෘෂභාලය

මස් නොබුදමි
පණ වුවත් දෙමි
පිටරට වෘෂභ සමින්
තැනූ සපත්තු දමා
පෙළපාලි යමි

December 16, 2013

ධර්මද්වීපය

බලන්න!
මේ නම්,
ධර්මද්වීපයක්මැයි...
"පිරිත්ය
බණය
කැසිනෝය
රගර්ය
මතට තිතය"
පින්වතුනි,
ඉතින්
සාධුකාරයක්
දෙන්න!

December 13, 2013

අනවසර පිටපත

මංම ලිව්ව මගේම කවි
මං යනකොට පාර දිගේ
මට විකුණනවා
කන්න බොන්න නැති වුනාට
අතේ සතේ හිඟ වුණාට
මංම ලිව්ව මගේම කවි
සල්ලි දීලා ගන්න හිතෙනවා
"ගන්න සර් ගන්න අයියේ
අපේ කාලේ කලා ලෝකේ
නමක් තියලා මැරිලා ගියපු
කවියෙක් ලියු පට්ට සිංදු"

December 11, 2013

නිහඬතාවය

හදවත
කථා කළ
මොහොත!

December 9, 2013

වැස්ස

සඟවනු නොහැකි
අහසට උරුම
කඳුලු!

December 6, 2013

බලු ....... වෙති.

 හනිමුන් .
 කෑම බදු සහන.
 නිවාස .
 ප්‍රදර්ශන.
 නීති.
 අයිතීන්.
 රට.
 රජ.

December 4, 2013

අනිවාර්ය රාජකාරි

කොහේ ගියත් උදේ හයට
එන්නට වෙනවා ගෙදරට
නෝනාගේ සාරි පොටට

ගහන්න වෙනවා
කට්ට!

December 2, 2013

වැලපෙමු

වැළපෙන්න
තුරුළු කරගෙන
අතීතය
එනවාද
දවසක ඔබ
හැරදා
වර්තමානය

November 29, 2013

නුඹ

බලාපොරොත්තුව
ජීවිතය
ජීවත් කරවන
කිසිදාක
ඉටු නොවන

November 27, 2013

වර්ණ...

සුදු පාට රෝස පෙති මත
රතු පාට කඳුලු බිඳු
රටා මවන
අපූරුව..!

November 25, 2013

විරහව

Flush කල
අතීතයක
ඉතිරිව පාවෙන
වේදනාව

November 22, 2013

ඇය...

ඉහල සිටින මා උන්මාද කල චිත්‍රා ය

මා...
පහල පහල සිටින මුර සෙබලා ය..

එතකොට කවුද දීඝ ගාමිණී.....?

November 20, 2013

පළගැටියෙක්

අදුරට
සාප කර
ආලෝකය යට
ගියාය මළගම්.......

November 18, 2013

මුහුද

නැගෙන
බිඳෙන
ගැහෙන
නිල් පාට හදවත!

November 15, 2013

විරහව

මගෙන් මාව උදුරා
නිධන් කර
අතහැර දමා සොයන්නට
රැයක් පමණි
සදක් නැති
නිශාචරයෙකු සේ 
නින්දක් නැති

November 13, 2013

මරණය

විඩාබර
දිවියට
සුවදායී
විවේකය

November 11, 2013

අවංක කමේ අවසානය

අවසානයේ
අපිටම කෙලවෙනකං
අපිවත් දන්නෑ....
ඕනෑවට වඩා අවංක කම
පෙන්නුවම.....
මේ අවංක හිත
යටවෙනවා හැමදාමත්...
ඒ චපල හිත් ඉස්සරහvv

November 8, 2013

නුඹ

ජීවිතේ
මද්දහනට
සිහිල්
සෙවනැල්ල

November 6, 2013

නෙළුම් මලේ පෙති කඩලා

වැවේ පිපුණු නෙළුම්
වටේ නටපු බමරුන්
පරිසර පද්ධතියක සතුන්
ගැවසුනා උදෑසන

වැවේ පිපුණු නෙළුම්
දුටුවා අන්ධ වූ දෑසක්
මිටි පිටින් නෙළූ නෙළුම්
ඇදුණා පුද බිමට

නෙළුම් ගොඩක් සීයයි
පූජා වෙන්නට ගොසින්
වැව දැන් මූසලයි
එහි නැත දැන් නෙළුම්

November 4, 2013

තාත්ත දන්න ඉටිගෙඩිය

2015දි ඒ ලෙවල් කරන
අපේ මාමගෙ පුතා
ෆේස් බුකියේ ෂෙයා කරල
පොටෝ එකක්...

'ධර්ම දායාදය උදෙසා
සුජාත සිංහල දරු පරපුරක් බිහිකරමු!
පුංචි පවුල රත්තරං
වැඩුණු පවුල ඉස්තරම්'

ආණ්ඩුවට මිඩ්වයිෆ්ට පර්ස් එකට අහුවෙල
මාව විතරක් හදපු
උඹට වඩා ඇච්චොත් දැන්
මාර දියුණුයි තාත්තෙ

November 1, 2013

අඩෝ දෙයියෝ...!

මිථ්‍යාවෙන් ලොව මුදන බව කියන
මුණිවර අසපුවේ කෙළවරේ කුටියක හිඳ
ලොවම මුලාවෙන් වසමින්
දෙවියන් ෂල්ලි ගරන ෂේක!

October 30, 2013

පිස්සු හැදෙන වෙලාව

පිස්සු හැදෙන්න
මොහොතකට කලින්වත්
නොහැක
හැදෙන බව දැනගන්න
හැදුණු පසු
කවදාවත් නොහැක
හැදුණු බව දැනගන්න

October 28, 2013

කවිය මැරුණ ඕයි!

අධර්මිෂ්ඨයන් ගැන
කවියක් ලියා
ඒ අධර්මිෂ්ඨයන්ගෙන්
මා මුදවා
සුජාත කල ඇසිල්ලේ
මියැදුණි
ඒ කවිය

October 25, 2013

ඇයයි මමයි ලස්සනයි

ලස්සන වෙනවා කියා
ඇය
මිදි හොයන් කන්නී ය
මම වයින් බොමි

October 23, 2013

නුඹේ කඳුළැල්

පිරි කඳුළැල් සැළුණු නෙතඟින්
බලා හිඳී නුඹ ඈත අහස දෙස
බැලූ මුත් මා නුඹේ දෑස් දෙස
වරම් නැත මට කඳුළු සලන්නට

සිතෙහි ආලය පිරි ඇත තව
නුඹේ කඳුළැල් හිසරක් විය
වැදුනි හද වෙත රිදුම් දෙයි එය
කිරිමට අද කිසිත් නැත මට

පිසින්නට අද නුඹේ කඳුළැල්
සිතුවමුත් මම වරම් නැත මට
දැනුන මුත් දුක මගේ හද වෙත
කෙසේ නම් මා සනසවන්නද?

October 21, 2013

මහරජ..

අපි නොතැනු 
රට නොතැනු 
ඔහුම තැනූ 
අපිට නොවන 
රටට නොවෙන 
ඔහුටම වෙන 

October 18, 2013

මගෙ පෙම්වතිය

පටුන බලති
පිටු නොබලති....

October 16, 2013

බඩගෝස්තරවාඳය ගැබ් ගැනිම

 පවිටු වු,  ආත්මාර්තයේහිම
ආත්මය රැඳි,
දේශපාලනික සලෙලු බවින්

ගැබ් ගත්
උන්ගේ බඩගෝස්තරවාඳය,
ජාතියේ වරඳින්ම
කිසිඳා ගබ්සා‍ නොවනා
හැටි.

October 14, 2013

බිග් බෑන් තියරි + ♥

බිග් බෑන් එකට කලින්
විශ්වය තනි තිතක්ලු
ඒ තිත හැදුණේ
හැකිළුණු විශ්වයකින්ලු
විශ්වයත්
හදවත වගේ...
ඉපිලෙමින්
හැකිලෙමින්...

October 11, 2013

ද්‍රව්‍යමය ආසාවන්

සිත් ඉමේ
යහනතේ
කෙතරම් ක්‍රීඩා කලද
ඇයට ඇති
ද්‍රව්‍යමය ආසාවන්
හිර කරයි නුඹ ගෙලින්
අවසානයේ

October 9, 2013

දිටිමි..

නොවෙනස්ව ගලා යන කඳුළු වලට
ශාප නොකරමි..
ඔබේ සුසුම් වලට
හිර නොවුනත්
දෙනෙත්වල කාන්තියට
පිලිස්සී ඇත්තෙමි

එහි රශ්මිය අදද මා පෙලයි...

October 7, 2013

වැට කඩොලු

හදවතේ ආදර කතාව
ඔහු දනී...
මම දනී...
අපි, අපි දනිමු
හදවත් අපේය..

October 4, 2013

ජීවිතයේ Remote එක

ජීවිතයේ සොඳුරු, ලස්සන තැන්  Pause කරන්න තිබුණානං
අමිහිරි තැන්, අකමැති තැන් Fast FWD කරන්න තිබුණානං
මතකයන්, වැරදුනු තැන් REWD කරන්න තිබුණානං
Play කරන්න තිබුණා ජීවිතයේ හොඳ කාලය අයෙමත්....

October 2, 2013

මල් කැඩීම

ඇට මස් ලේ නැති
හැඟීමක්ද නැති
ලස්සනක් සුවඳක් විතරක් ඇති
කොයි මලත් එහෙමය
බිය නොවන්න
පොඩි කරන්න

September 30, 2013

සාහිත්‍ය මාසය අදාල නැත

නැග සිටි
පොත් කන්දෙන් බැස
අවට බැලීමි
ඈ සිටියේ
පොත් කන්ද පාමුල ය

September 27, 2013

ක්ලවුඩ් ජීවිතේ

ක්ලවුඩ් සර්විසස් නිසා දැන්
ජීවිතේ
හාඩ් ‍එකේවත් නැත

September 25, 2013

බාදුරා මලක මධුවිතට

ලපටි  මල්   කිමි වන් පා ඇති
නිල්ම  නිල්   ඇස්   ඇති
පුංචිම  පුංචි
දගකාර    සමනලයෙක්
යන  සැටි  බලන්  නෑ සුනු කන්
බාදුරා  මලක 
මධුවිතට

September 23, 2013

දැන්විමයි...

ආදරය...මගේ විකිණිමට තිබේ
ණයට ඉල්ලා අමනාප නොවන්න...
එසේ කිරිමෙන් ආදරයත්, මාත්, ඔබත් ..
යන තිදෙනාම මට
නැති වේ...

September 20, 2013

මැජික් බඩු

සුපිරි සාප්පුවේ සැරිසැරු
මැදපන්ති පාරිභෝගික මම වෙමි
වීදුරු පෙට්ටිවල තිබෙනතුරු
එහි බඩු වලට මම බිය වීමි
මිලදී ගත් පසුව ඒ බඩු
බිය විය එහි අලෙවිකරු

September 18, 2013

නිහඬ බව

සමරමු
නගා
ජය
ගොස

September 16, 2013

ෆේස්බුක් හොටු

රට්ටුන්ට පෙනෙන්නට
සැබෑ ලෝකයේ සිනාසෙමි
කඳුළු හොටු අඳෝනා වැළපිලි සියල්ල
ෆේස් බුකියේ අතාරිමි

September 13, 2013

සඳ

සඳ ගැන කවියක් කීවා මතකයි
පෙර දින නුඹ මට හැන්දෑවේ...
ඒ සඳ කවුදැයි ඇහුවා මතකයි
දින ගනනක් මම හැම වේලේ...
පිලිතුරු නැත අද නුඹ ගොළුවී ඇත
හෙව්වා හේතුව පෙර වාගේ...
ඒ සඳ මම බව තේරුම් ගත් විට
නුඹ නැත මම ලඟ පෙර වාගේ...

September 12, 2013

ආරම්භයක් නැති අවසානය

ආදරය කියා ගන්න
අකුරු ගලප ගන්න බැරි
මම.....
කොහොම වචන ගලපන්න ද
කවි ලියන්න......

September 11, 2013

ratings අඩුවන කල

වෙනස්වෙයි කාර්යමණ්ඩල
නිවේදකයෝ වෙති නළු නිළි කැළ
මහිමය එයයි සැම කල
කාගෙත් නාලිකාවල

September 10, 2013

පැරදුම

ප්‍රේමයේ උඩුගං බලා පිහිනූ
කින්නාරාවිය
සියල්ල හැරපියා දියේ ගිලී
මියගිය පුවත
අද උදෑසන සයනයේ සටහන්ව තිබුණි.

September 9, 2013

නමට නොහොබී

උපාංගද බෝ ඇති
තවමත් වැඩක් ගෙන නැති
නමට නැති වැඩ ඇති
ජංගම නිසා සිත් ගති

September 6, 2013

දෙවැනි දෘෂ්ටිවිතානය

මකයි, ඇස හා තිරය'තර
කෘත්‍රිම අවකාශය
හසුරුවයි පවුල් වුව සිතැඟි ලෙස
ගෙයි මැද සාලයේ රූප පෙට්ටිය

September 5, 2013

කලු සුදු ආදරය...

එහේ මෙහේ ගිය ඉරි කෑලි
සුදු කොලයට කලු පාටින්
රටා මවපු......
වර්ණ අතර, අතරමං ව
චිත්‍රය ඇදපු....
සිත්තරා මං..

September 4, 2013

අලුත් පණක්

මගෙ ඉහේ
මල් දාහක් පිපුණා
ඔයාගේ ෆෝන් එක
ආයෙත් හුස්මගන්නවා ඇහුණම

September 3, 2013

ඇමරිකන් ලයිටී

coke එපා කියන 
විමල්..
රැට රැට රතු පාටට 
දිලිසෙන 
එපා කියන්නකෝ 
ඇමරිකන් ලයිටිටුත්

September 2, 2013

ඇයි අදම

බස් එකේ අසුන් හිස්
හිටගෙන යන්නයි හිතන් හිටියේ අද
අසුන් තිබිලත් හිටගෙන
මිනිස්සු එහෙම හිතත් ද?
ඉඳගෙන නැගිට්ටම මම
මිනිස්සු එයම දකිත් ද?

August 30, 2013

වතක මහිම

හුදෙකලා, නිහඬ
හදවතක රුව
දිසෙන ඔබ වත
නොවේ අමතක

August 28, 2013

මේකම දෙන්න

මේක කීයද?
අරක කීයද?
අනික කීයද?
"මේක" දෙන්න

August 26, 2013

මං එනතුරු

පේර ගෙඩියක් කඩාගෙන
තැඹිළි ගෙඩියක් කපාගෙන
බසයක හඬ අසාගෙන
පාරට කන් යොමාගෙන
දැන් එතියි මග බලාගෙන
තාත්තා ඇති සිනාගෙන

August 23, 2013

ඩේටා ලිමිට් සහ පොත්

ඩේටා ලිමිට් පැන ඇත
අන්තර්ජාලයේ
දැන් ආයෙත්
මමත් පොත් කියවන්නෙක්මි

August 22, 2013

බිඳුන හද

හද බිඳුන තරමට
හදන්නට බැරිවේයිද ආයෙත්...
වැහැරී ගිය ඒ හිත හදන්නට 
කවදා හෝ දෑත දේවිද ඈ ආයෙත්...

August 21, 2013

හිස් මළ මිණි

ජීවිතයේ හිස්කම පුරවන්නට
සකල දෑ කළෙමි
සියල්ලට ආසා වුණෙමි

ජීවිතය පිරුණු පසු
ඉල් පලක් නැති වී
ආසාව මියැදී

මා මළ මිණියක් වී...

August 20, 2013

වාහන නැත්නම් කහ ඉරි කුමට.........

ඈ,
නියම බිරිඳ,
කහ ඉරමත මියැඳුන,
මෑ,
අනියම් බිරිඳ,
රථය පදවාගෙන ගිය,
මා,
ඔලමොට්ටල සැමියා?
වාහන යා හැකි මගේ
කහ ඉරි ඇන්ද?
එහෙමද? නැත්නම්...
කහ ඉරි ඇන්ද මගේ
වාහන යන්නට ඉඩ හැරිය?

August 19, 2013

හිත

පරිගණක තිරය ළඟ
හිස් වන
පොතක් ළඟ
පිරෙන

August 16, 2013

මංගල දැන්වීම

වචන පහලොවක
සිරකල
අනාගත
සුභ සිහිනය

August 15, 2013

අපේ කාලයේ ප්‍රවෘත්ති

මෙන්න ප්‍රවෘත්ති
හැමදාම නෑ
හැමතැනම නෑ
ග්‍රාහකයිනි,
මමනම් බයයි
නුඹත් බියවන්න
පේනවනේ
මෙච්චරක් මැරිලා
මෙච්චරක් තුවාලයි
ලැබෙන සැණින් එසැණින්
තවත් මරණ ප්‍රතිඵල

August 14, 2013

හාමත් කුස

ලැජ්ජ කළා මට
හඬ නගා
උදේ රැස්වීමෙදි
භාවනා කරන නිහඬ මොහොතෙදි

August 13, 2013

ගැහැණිය

පිරිමියා
පාලනය කළහැකි
දුරස්ථ පාලකය

August 12, 2013

ආදරය

නුඹ
දුන්
කඳුළු කැට....
නුඹ
සිපගත්
කම්මුල් මත...

August 9, 2013

අහක යනවට

පූස්,
අද මොකද
නෝනාගෙන් අපට
පිටිකිරි?
ඔව් බව්වා
නෝනා අද ලෝබ නෑ
ඊයේ ළමයාටවත් දුන්නැහැ
මං අහගෙන,
කිව්වා පූසටයි බව්වටයි දෙමු එව්වා

August 7, 2013

ගොළු යථාර්තය...

නුඔට තාම දැනිල නෑ
උණු වුණ ඒ හිතේ ගින්දර
නුඔ තාමත් දැකල නෑ
කදුළු පිරුණු ඒ දෙනෙත්

ආදරේ කලා ගොඩක්, සත්තතමයි
නුඔට අමතකයි ඒ සොදුරු අතීතය
අහිංසකයි නුඔ හැමදාමත්
ඒත් ගොළුයි ඔබේ යථාර්තය තාමත්

සිහි කරන් ඔය මුහුණු
හිරකරන් ඒ මතකය
මියැදෙනවා කාටත් හොරා
නුඔට ආදරේ ඒ පණ.....

August 5, 2013

ඔබ

සුළඟේ පාවී
දෑත මත රැඳුනු
මුදු කුසුම
රඳවා ගන්න පින් මදිවූ

August 4, 2013

සංගීතකරු මැරිල...!

වැයූ තත් හය නිහඬ වී...
හිඳී මුල්ලක කිලුටු වී...
තත් වැයූ අත් පලුදු වී...
යතුරු පුවරුව මතට වී...

ලියූ කවි පද නිහඬ වී...
සිනාසෙයි මට උඬගු වී...
කවි ලියූ කොළ රුදුරු වී...
ඉල්ලයි මගෙන් උත්තර හරී...

නොදුන්නොත් උත්තර හරී...
කෙළ වෙනව මේ පාරත් money...
අරන් degreeය බී Sc...
අපි කරමු music මගෙ honey...

August 2, 2013

රුපියල් 25

25 ට 25 ක් සෙට් වෙන තැන...!
ටී ද,  ප්ලේන් ටී ද, හොඳ...?

July 31, 2013

මදුවිත

නුඹ පමනි
අද තනියට
කාලය පියඹා ඇත
සියල්ල අහිමි කර

July 29, 2013

සඳ නුදුටු සඳ (දැන් එපා)

කොන් කඩා තරුවල
අතුල්ලා ගලක් මත
ඇලෙව්වෙමි අහසමත..
හරියටම නොවුනත්
රවුමක් ලෙස..
ලෙලෙන දිලෙන තරු
එලිය වුව.. මවාගනිමි
සඳක් ලෙස....
දැන් එපා හඳමට..!!!

July 26, 2013

නුඹ

ඉඩෝරයට
පසු
ඇද හැළුනු
මහ වරුසාව
සියල්ල
සුණු විසුණු කල

July 25, 2013

ආදරය

නුඹට නොදැනෙන
ම හද උතුරන
ලොවම නොදකින
රහසේ මියැදෙන

July 24, 2013

පාට කල ජීවිතය

අනෙකා ම දෙස බලයි කියා
කොණ්ඩය ටින්ට් කළෙමි
පච්චයක් කෙටුවෙමි
නහය විද්දෙමි
දිවත් හිල් කළෙමි

බල්ලෙක්වත් බැලුවේ නැත
හිල් කරන්නට තැනකුත් නැත
මැරෙන්නට හිතයි දැන් මට

July 23, 2013

ඇය

බිහිසුණු
අතීතෙක
සොඳුරු
වර්තමානය

July 22, 2013

පෝ දා බණ | එපා වීම

පසක් විය එක මොහොතක
ආසාවෙන් ළංකරගත් සියළු දේ
දිනෙක එපා වන බව

July 19, 2013

විරහව

තුවාලය
නුඹ
කසන
මම
විඳවන

July 18, 2013

අපේ නොවන අපි

සයනයේ නොව
ආදරය මත
දොඩමළු වෙමු,
හදවතින්
තුරුළු වී..............

July 17, 2013

සයිබර් මෑන් (2013) | නූතන සුපිරි වීරයාගේ කතාව

උපතින් ලද බලයක් නැතත්
දියුණු කරගත් දස්කමක්ද නැතත්
මා වීරයෙකි හතර අත නෙලන
සයිබර් ගුවනේ පියාඹන

July 16, 2013

Nona ගියා Annual ට්‍රිප්

හුරේ....
අද set වෙමු
හප්පට සිරී 3න් වේල???

July 15, 2013

සීරියස් පුනරුත්පත්තිය

මා පියාගේ හදවතින් ගලා ගිය
රුධිරයේ දියව තිබී
පෙණහළුවෙන් නික්මුණු
හුස්ම හා මුසුව
වාතලයට වන්
ජල අණුවක්
ඉහල අහසට ගොස්
වැස්සෙන් ඇද වැටී
ගෙදර මිදුලේ බෝංචි වැලක
කරලකට උරාගෙන...

July 12, 2013

ඩාක් නයිට් සහ මල්සිරි

තමන්ගේ 'බිය' වූ
වවුලකු බවට පත්ව
බිය අතික්‍රමණය කල
ඩාක් නයිට්වරයා දැක
මල්සිරි කල්පනා කලා

...

දැන් ඔහු දේශපාලකයෙක්!

July 11, 2013

කලාවන් දොඹකරය

මිනිසුන් ඉහළ ඔසවා
වැඩි ඉඩක මිහිර පෙන්වූ
කලාවන් නම් වූ දොඹකර
එසවෙන්නට ඉසිඹු නැති
අලසයන් නෙතට හසු නොවී
මළ කමින්...

July 10, 2013

Naදී...

සිසිලස ගෙනෙයි ඔබ හැමටම     Naදීය....
සද එළි‍යෙන් හිරුකිරණින් නැහැවෙයි  Naදීය...
මහ වෘක්ෂ වන මැදින් රැක ගනියි ඔබව   Naදීය....
සිහින් ලතාවට ඈතට ඇදීයන    Naදීය...
මහ සයුර හමුවෙයි කවදාක හෝ ඔබට   Naදීය.....

July 9, 2013

මනරම් ගැලපුමකි.....

ආදරය,සෙනෙහස,භක්තිය
ඉර්ෂ්‍යාව,ගෝරනාඩුව
රන්ඩුසරුවල්,සිත් තැවුල්
ඇනේමන්දාවකි...
ඇගේ/මගේ... ආදරේ

July 8, 2013

මට එරෙහිව මම

අවසානයේ
ලෝකයේ එදිරිකම්
තුනී වි යයි
මා නැමැති සතුරා
ඉතිරිව

July 5, 2013

අටවකදා හඳට

ඇයි මේ
කෙට්ටු වෙලා

July 4, 2013

බඔරා...

රෝස මල් මිටි තිබුණාට...
ඔබරු රොත් හිටියාට...
එක මලයි තිබුණෙ බඔරාට...
එමල හැර නොයමි කිසිදාක...

July 3, 2013

කැකිල්ලේ රජ්ජුරුවණි...

අමාරුවෙන්
කෝටු අරන්
 හදපු
පුංචි කූඩුවේ..
කොහෙක් ඇවිත් බිත්තර දාලා

July 1, 2013

ඔයා පොතක්වන් ජීවිතයක්!

ජීවිතේ නම් පොතේ
පිටු ඉරී ගැලවී ඇත්නම්
එය කියවූ එකක්

පිරිසිදුව නොකිලිටිව ඇත්නම්
කිසිවකු නොඇල්ලූ
රහක් නැති එකක්!

June 28, 2013

සල්ලාලයෝ

තරුණියක් කෙලෙසන්න දඟ දැමූ
සල්ලායන්ට නෙලා
ඇය බේරා ගත් තරුණයාට
ඇයව කෙලෙසන්න
අයිතියක් ලැබේද?

June 27, 2013

හදිය

දෙතොල් වියළී
උගුරු දණ්ඩ සිරවී
සිරුරේ රුධිරය උණුවී
වැගිරෙමින්
මා කම්පිතව ගිය
හදිය කැටි
රියේ ඉදිරිපස බුමුතුරුණේ රැදි
කොණ්ඩා කටුව කාගෙද

June 26, 2013

කටු මතකයට උත්තර

යනෙන තැන මරුවැල්ය
ආදරේ ගිනිදැල්ය
ජීවිතය නැතිකල්ය
දැනෙන්නේ තනිකම්ය

සිත් අහස ගැබ්බරද
අත් පසුර හිස්වුනිද
නෙතු කැල්මේ කඳුලැල්ද
ප්‍රේමය ම මියගොස් ද?

අවට ලොව නොම සිතන්
අතීතය අත හරින්
ප්‍රේමයේ සුභ දකින්
ජීවිතය කියවපන්..!

June 25, 2013

වෙනස

ප්‍රියතෙපුල් තෙපලමින්
ඔබට තුරුල් වී
දඬු මොණරේ
ඉගිලෙන්නට පැතූ මා
රියදුරු නිල ඇඳුමට මුවා වී
සැප පහසු රියේ
පසු පස අසුනේ තනිව
සිරකාරි වී

June 24, 2013

ඇළුමිනියම් බස්

ඇතැම් බස්වල
පොළුවලින්
ලැබේ නොමිලේ
ඇළුම්නියම්

June 21, 2013

බොග

ඇඟ මහ ජරා යන්ත්‍රයකි
අපි කන රස සුවඳ කෑම
ගඳ ගස්සවා පිට කරන

June 20, 2013

නාඳුනනා අංකය

රෑ තුන් යම නිදි නොමැතිව
හිත කීරි ගස්සන
සැකෙන් නිතර වද දෙන
ඔබේ දුරකතනයේ දිස් වූ
වැඩිම වරක් එහා මෙහා කරකැවුණ
නොහදුනන අංකය
පිළිකයක් වීද කුලගෙදර
සියල්ල වනසා දමන

June 19, 2013

රට පොරට

ගුගල් ලූන් උඩ‍ට
පිට රට පෙරට
ඉන්ටනෙට් ගුගල්ට
රට පොරට


පොර = පොරය හෙවත් වලිය

June 18, 2013

හිච්චියේ

රන් දොලාවෙන් නුඹ කැන්දන්නට
කෙනෙක් නැතුවට කම් නැත
නුඹ නාඩන් මයෙ හිච්චියේ
වැලේ ගෙඩිය බර නෑ වැලට
මගේ හුස්ම යනතුරු මන්
නුඹ රැක ගන්නම්
රත්තරනේ
රට්ටුගෙ කට වැට බදින්න
අපට ඇහැක්දෝ

June 17, 2013

සුන්දර වෙන්න ටිප් එකක්!

අසුන්දර මිනිසුනි
මීගොඩ ආර්ථිකේ
ඉවතලන පළතුරු ගොඩවල් ඇත
යන්න මුහුණ ඔබාගන්න
නොමිලේ සුන්දර වෙන්න

June 14, 2013

පිළිම අඹන්නා

මිනිසුන්ගේ
විශ්වාසයන්
මැටි පිඩකට
ගොනු කරමි

June 13, 2013

අපහරණය

කෙලෙසීය තම කැකුල
පුබුදුලුවලූ පියාම
දිලිඳුකමට එරෙහිව
ඉසුරු සොයා
මව් නැව් නැගි සැනින්
පරෙස්සම ඈලියාවට ගිය හැටි

June 12, 2013

මාර පාර

පාර දෙපස
ගස්වලට ලොල්ව
දේශපාලුවා
පාර පළල් කලා

June 11, 2013

මංගල මුදුව

වෙදඟිල්ලෙ සිර කල
රන් බෙරලයෙන්
ලොවම දුරස් කර
එක්ටෙම් ගත කල වගයි

June 10, 2013

චූචි චීචර්!

ටීචර් නැති
පන්තියක්
ලෝකය

June 7, 2013

උදෑසන

තණ අග රැඳි
පිණි බිඳුව
මරණය අයදින
ජීවිතය

June 6, 2013

සිහිවටනය

පෙරදා ඔබගේ
දසෑඟිල්ලේම නැලවුන
සොරාම මා අයිති කර ගත්
මගේ ඈදුම් බෑගයේ නිදන් ගත
උපන් ලපයක් සේ මතකයේ රැඳුන
පුංචි යතුරු රඳවනය
ඔබටත් තවම මතකද

June 5, 2013

දෙවියන්ද ෆන් ගන්නා සේක!


දෙයියො ලෝකය මැව්වෙ
අපිට ආදරේට නෙවෙයි
උන්දැට ෆන් එකේ ඉන්න

දැන් තමයි උන්දැ
හොඳටම ෆන් ගන්නෙ

අපි තමයි උන්දැට
හොඳට ෆන් දෙන්නෙ

June 4, 2013

ප්‍රේමාන්විත රංගනය

මල් යහනේ සතපවා සිනිදු සේල වින්දනය..,
ගෝර කටු මැද කදුළු සලා විලාපය..,
සියල්ල නිමාවිය.
උන්ද දැන් මහලුය..

June 3, 2013

ඔළුව පලන වීඩියෝව දැක්කද?


කාර්යාල ජීවිතයේ
දවස පටන්ගන්න කලින්
කලින්දා ප්‍රවෘත්ති අහන්න

දැක්කද අර වීඩියෝව
ඔළුව හතරට පලන
ටීවි එකේ ගියා
අපි ඔක්කොම බැලුවා

May 31, 2013

ග්‍රීස් සහ දාඩිය


යන්ත්‍රයක් වූවා නම්
දැරිය නොහැකි තරම්
කැරකුණු විට
කැඩී යයි

අපි මිනිස්සු නිසා
දරන්න බැරි තරම්
දරාගෙන
තවමත් දත්මිටි කාගෙන

May 30, 2013

හැලීම

ඉන් ඉක්බිති
සියලු දෙනා
දේශන පවත්වා
උද්ඝෝෂණ කර
හලාල් වලට විරුද්ධව
අරාබි තෙල් ගැසූ
බස් වලින්
ගියාහුය
නිවෙස් වෙත....

May 29, 2013

අනේ ඌ දන්න xxxxxx!


පොඩි කොල්ලෙක්
විවාදයක කෑ ගසයි
'අන්තර්ජාලය
ලෝකය විශ්ව ගම්මානයක් බවට
පත් කර ඇත'

මට හිනාගියා
විශ්ව ගම්මානයේ මුල්ලක
වැටකින් වටව අපි
අපේ ගොඩවල් හදාගෙන
තාමත් ගොඩේ ෆන් ගෙන

අනේ ඌ දන්න අන්තර්ජාලය

May 27, 2013

රෝල්ස්


හැමෝටම ගසන්නට
කුමක් හෝ රෝලක් ඇත
කිසිවෙක් දිළිඳු නැත
අරගල කරන තරමට

May 25, 2013

බලු අදහස්

ගේට්ටුව ඇතුලෙ හැදෙන බල්ලන්
එලියෙ ලෝකය නොදත් මෙන්
අදහස් ගේට්ටු තුල සිරවූ සිත්
ගේට්ටුවෙන් පිට කිසිත් නොදත්

May 23, 2013

වර්චුවල් තම්බ්ස්අප්


මා වෙනුවෙන් දිවි පුදන්නට
හඬ නගන්නට
අයෙක් වේ නම්
මම ඔහුට සහය දෙමි
එක සිතින්
වර්චුවලි...

May 22, 2013

වලිගෙ

පරිණාමය සමග
අපේ වලිග
හැලි ගොස් ඇත

පරිණාමය නොවූ ඇතමුන්
තම වලිග
නිතරම පාග ගනිති

May 20, 2013

වැහි වලාවේ

නිරිත දිගින් හමනා වැහි වලාවේ
රුහුණට මාව සිහිකරපන් වලාවේ
සබරගමුවෙ වැහි අප්පුලා මලාවේ
කොළඹ රටට වැහැපන් වැහි වලාවේ

උයා තමා දිනුවෙ!

සල්ලි ටිකක් දෙන්න කියල
රේඩියෝ අක්කෙක් කතා කලා
ඔව් ඔව් ගෙදරටම

‘මේ වෙලාවෙ ඔයා මොකද කර කර හිටියෙ?‘

‘මේ වෙලාවෙ මම ටීවී බල බල හිටියේ‘

May 17, 2013

චිරං ජීවතු කිංස්ඩුව් මව්නි,

ඒ අපූරු නිවහන,
ජීවිතේ කියාදුන්න්,
ජීවිතේ සොයාදුන්න,
රත්තරං පිං කෙත,
කවමදාකවත් අමනක කරන්න බෑ.....

ඉතින්..
එක් සිය දෙ විසි වසරක,
අභිමානවත් රාජ පෙළපත,
තව සහස් කල් දුර දිනන්නට,
සදාදරණීය කිංස්ඩුව් මව්නි,

ඔබට චිරං ජීවතු. චිරං ජීවතු. චිරං ජීවතු !!!!

May 15, 2013

සින්දුයි කසාදෙයි!!!


සින්දු රිපීටි වෙන නිසා
එපා වේ කාලෙකින්

අයියෝ කසාදේ

May 13, 2013

හද

හදේ නෙතු
කැලුම් පොදි
නුඔට පිදුවා
අවංකව මම...

May 10, 2013

ඈ නිළියක් නොවේ


වෙඩිම පුරාවට
මනාලිය සිනාසුනා
ෆොටෝග්‍රැපර් හතර අතට
‘හා දැන් අඬන්න‘
කණට කර ඔහු කීවා
මනාලිය අඬන්න ගත්තා
ෆොටෝග්‍රැපර් හතර අතට

May 8, 2013

විහිළුවක කාලාර්ථය

විටක මිහිරිය
සිනහ බෝමය...
විටක අකැපය
හැඬුම් බෝමය...
වටහා දෙනු මැනව
විහිළුවක, කාලාර්ථය
ගැහැනියට සාපේක්ෂව

May 6, 2013

යක්ෂමතාවය

ඔපීසිය අකාර්යක්ෂමයි කියා
ගෙනාවා කොම්පියුටර්
දැන් හැමෝම
කාර්යක්ෂමව ගේම් ගසති

May 3, 2013

අඳුරට විසඳුම

උස් බිමක මම හැදුවා
පුංචි වැවක්...
වැහැපන් වැහැපන්
නොනවත්වාම වැහැපන්
පිරෙන්නට මගේ වැව
හදන්නට ටර්බයිනයක්

May 2, 2013

පෝය දා රෑට පන්සල

පැණි පෙරන
සිල් වඩන
පෙම් පුරන
පිං වඩන
දනෝ

එති...
යති...

පහන් දල්වති
පැන් ඉසිති

නිවන් දකිති (?)

May 1, 2013

අපොයි මහගමසේකර!


ලෝකයේ කර්කෂ
ගැටුම් මැරුම් හිංසන
නොරිසි ව
රිංගුවා අන්තර්ජාලෙට

අයියෝ!

දැන් ලෝකයම
තනි යායක් වී ඇත

සිහි වුණා ප්‍රබුද්ධ
අපොයි මහගමසේකර

April 30, 2013

ආතල් ඕයි සංවේදී ජනතාව!


ජාතික ප්‍රශ්ණ ගැන
සාමාන්‍ය මිනිස්සු අසංවේදී විට
උන්ට බනියි
සංවේදී ජනතාව
'තොපි අන්ධ ජාතියක් යකෝ'

ජාතික ප්‍රශ්ණ ගැන
සාමාන්‍ය මිනිස්සු සංවේදී වන විට
උන්ට එකතු නොවී
ආයෙත් උන්ට බනියි
'ඕව කරල හරියන්නෙ නෑ යකෝ'

ජාතියේ පින සංවේදී ජනතාව

April 29, 2013

you tube වර්මොහොලික්

ගෙවෙන ජීවිතය
එපා වූ මොහොතක
පලායමි
වෙනත් විශ්වයකට
යූ ටියුබ්
වර්ම්හෝලය තුලින්

April 26, 2013

විදුලි බිලට අත නොතබනු!


උන් විදුලි බිලට අත තියයි

විදුලි බිල වැඩි කර
ලාභ උපයා
අළුත් යන්ත්‍ර ගෙන
බිල දෙස දෑහින්වත් නොබලා
ඔටෝ ජෙනරේට් කර
ගෙදරටම එවන්නට
පටන්ගත් පසු
උන් ඊට අත
නොතබනු ඇත

April 25, 2013

පිළිමය

අවුවට කරවෙමින්
කුරුළු බෙටි
වැස්සට හේදී යමින්
පිළිම අඹන්නාගේ ගෙමිදුලේ
විකුණන්ට තිබූ පිළිමය
නොදුටු මිනිසුන්
එය හන්දියක
මලසුනක් මත ඇටවූ පසු
නමදිමින් යන අපූරුව!

April 24, 2013

එ තරම්
නො බිදෙන බදුන්
තිබුණ මුත්
බිදෙන
බදුනට ම
සිත - ගිය
අරුමය...

April 22, 2013

හෝම් තියටර්

මගදී pause කර
ඊ මේල් බලන්නට
‍ෆේස්බුක් යන්නට
රිඩරේ කියවන්ට
නොහැකි නිසා මම
නොබලමි
හෝල් එකේ චිත්‍රපට

April 20, 2013

කරාමය/කරුමය

විනය නියෝග නියෝග නිකුත් කලා
දෙපාර්තමේන්තු කම්කරුවාට
උතුරන ජල ටැංකියේ
කරාමය වසන්නට දිව්වාට
ජාතික ගීය අතරතුර

April 19, 2013

life (2013) | වැඩිහිටියන්ට පමණයි!

අක්‍රිය මා
පසෙකට ඉඳුවා
ඉදිරියේ දිග හැරෙන


ජීවිතය
විටෙක
චිත්‍රපටියක්

April 17, 2013

සමූහ මිනී වල

ටිකක් ගොඩගන්න
සමූහ මිනීවලේ
සේරම ගොඩ නොගෙන...

ඉතිරි ටික
හිමීට ගොඩගමු
හත් අට වතාවකදි

April 16, 2013

අප්‍රේල් 16

අප්‍රේල් 14 අවුරුද්ද ඉවරයි
අප්‍රේල් 15 නෑගම් ඉවරයි
කැවුම් ටිකක් ඉතිරි වුණාට
අප්‍රේල් 16 අපි ඉවරයි

April 1, 2013

රේඩියෝ

සවන් පිනවන්න 
තරංග සමග 
සංසර්ගයේ යෙදෙන 
නාලිකා

March 28, 2013

නිදිකුම්බා ගහේ
කටු ඇණුනට
කොහොමද පිළිගන්නෙ
නපුරුයි කියලා
පුංචි දේටත්
ඇකිළෙන හැටි දැක්කම...

March 13, 2013

ව්‍යාකූල හදවත

සැලෙන මන.....
සක්මන් කරවයි නුඹව..
මායාවත්.... , යතාර්තයත් අතර
නොමදෙනු මා සොදුර
කැඩෙන්නට පිට කොන්ද

March 8, 2013

I love OS

Ios නම් අධික සීතලං
Windows නම් සෙවල පටිත්තං
Fedora නම් මට විලම්බීතං
Ubuntu නම් අග‍්‍ර බෝජනං

February 13, 2013

අනුවණ මල

මලක් නොපිපෙයි ඉරක් නොමැතිව
ලොවම දන්නා යථාර්තය එය....
මලට බඹරෙකු පැමිණි පසුවද
නොකියන් මලේ....
හිරුට පිටුපා, එන්න බැරි බව...

February 1, 2013

සඳට පවසයි තරුව

සඳ තනියම පායන්න සිතුවත් හැමදාම
දිනක් එයි අමාවක...  ඉඩ නොදී පායන්නට
එදින වැටහේවි.., ආඩම්බර සඳට
තරුවක වටිනාකම.....

January 30, 2013

ක්ෂිතිජයේ යතාර්ථය

සොඳුර නුඹ සයුරකි......
ආදරය, සෙනෙහස දෝරගලනා
ගිලී සිටින්නට සදාකල්, ඒ ආදර සයුරේ
සිතුවත් මා....
වටහා දුන් විට ඔබ, හිරු සයුරේ නොගිලෙන බව
වටහා ගත්තෙමි... ක්ෂිතිජයේ යතාර්ථය.........

January 28, 2013

පුරහඳක් වෙලා
නුඹ
එළිය දුන්
හැම දාම
හිතට ආ
හැම දේම
කියන්නට
හිතුනාම
එදාම

අමාවක.....

January 23, 2013

නුඹව
මගෙ කරගන්න
මම විඳපු දුක්....
නුඔව
මගෙ වෙලත්
තව
මම විඳින
දුක්......

January 11, 2013

ඔන්න කිවුවා
සිත්තරාට
මගේ සිතුවම
මටම ඕනි...

January 4, 2013

දුක..

ඉපදුන නිසාවෙන්ම
උහුලන
කරුමය නිසාම
විඳවන
අප්‍රසන්නම
හැඟුම් සමුදාය....

January 2, 2013

තනිකම

තනියම අහසට නැගුණ ගහකින්
උඩට ආපු තනි අත්තක
තනිකඩ කුරුල්ලෙක්
තනියම ඉදගෙන
තනි වලාකුළක් තියෙන
අහස දිහා බලාගෙන..