October 31, 2011

ජීවිතය

කදුල අවසාන
නැගෙන සිනහව
විදි නම් හදවතින්
දුකද සතුටකි
කදුල මිහිරකි
දිවිය සොදුරුයි
හැම කල්.

October 30, 2011

System

නමෝ කියා බුදු මැදුරෙන් වීදි බසිත්
ළමෝ හදා වැඩිහිටි මැදුරෙහිම වෙසෙත්
වමෝ බැඳී "දියව් දියව්!" බෙරිහන් දෙත්
කිමෝනා ඇඳන් ජපනාටම බැට දෙත්

October 29, 2011

තුහින මලක්

තුහින මලක් මම
තණ අග සුපිපුණු
බලා හිඳිමි රන් හිරු රැස් එන මඟ
ඉන් එළි බිඳකට
මොහොතක් පෙම් කර
සැඟවෙමි දිදුලන මතකය පොදිබැඳ

October 28, 2011

මිතුරුදමට හෙණ ගැසූදා

කටු කාගෙන
වැඩ වමාරගෙන
රෑ නිදි මරාගෙන
උදව් කළ මේ අත්
කපා දැමුවානම්
හිතේ දුක
වාවගන්න තිබුණා...

මිත්‍රත්වය වෙනුවෙන්
දිගුකළ
අපේ අත්වලට
හෙණ ගහපන්......

October 27, 2011

unique

වැස්සකට පසු එන්න
හද සීත තවරන්න
වෙව්ලනා දෙතොල් අග
තුහින සුසුමක් වෙන්න...
අව්වකට පෙර යන්න
දිලිසිලා සැඟවෙන්න
අනුපම රටාවක්
හදවතේ ඇඳ යන්න

October 26, 2011

පුරඟන

පියුම් පුදින
සොඳුරු උදෑසන
නිදි යහනින්ද
අවසර නොගෙනම
මා කෙරෙන්
රහසින් දුරුවන
මගේ පෙම්බර
පුරඟන...

October 25, 2011

උදෑසන

අඳුරු සළුපිලි
උනා විගසින්...
සීත පිනි කැට
රටා සිත්තම්...
සකුණ ගීයක
සුභ නිමිත්තෙන්...
උදා වුවා
රවිඳු මනකල්...

October 24, 2011

ගිනි

ගිනි පුපුර දඟ කරන
හදේ අළු යට නිදන
සුසුම් සුළඟින් සැලෙන
දවන, ගිනිබත් කරන
නෙතු සරක පටලැවෙන
ඇඟිලි තුඩු අග රැඳෙන
සැනෙන් සියොළඟ වෙලෙන
නිවෙන යළි යළි දැවෙන

October 23, 2011

ඇය

ඇස් නිලුපුල් නොවුනට
මුහුන සඳවත දෙතොල් නාදලු
සිගිනිඟ සිරිවස කෙස් සුනිල් වලා
නිය මුතු නොවුනට ඇය ඔබද මන්දා.

October 22, 2011

දුර සයුර

කඳු මුදුන පිපුණු මට
පෙනෙයි දුර ක්ෂිතිජ ඉම
සෑම සිහිනයක අග
දැනෙයි සයුරක සුවඳ
එකින් එක පෙති සිඳිමි
සුළං අත පා කරමි
හෙට දකින සිහිනයක
සයුර, මම නුඹ සිඹිමි