August 31, 2011

සුන්දරම් ගේ පෙම්පත

මගේ නම සුන්දරම්
මම උඹට ආදරම්
තල්ගහ යටට වර වරම්
නැත්තම් මර මරම්

August 30, 2011

නික්මීම

නෙතු දෑලේ
දැවටුන ඒ සොඳුරු රුව
හද සදා පිරිමැද
කඳුළු බිඳුවක
මතක කැටිකර
මගෙන් දුරකට
නික්මුනා...

August 29, 2011

කුවේණි

අපහාස
උපහාස
විඳ දරාගත්තා
බැති සිතින්
කුවේණී
දරු ගැබත්
කුස දරාගෙන....

දුක
වේදනාව
විඳින්නට බැරුව
නොපෙනෙන මානයක ඉඳ
ඉකි බින්දා
කුවේණී
දරු ගැබත්
තුරළු කරගෙන....

August 28, 2011

ජීවිතය

කපා දැමු
අරලිය අත්තක්
ප්‍රසුත කරා
මල් ඉත්තක්
මියෙන්නට මත්තෙන්...

August 27, 2011

මතකය

මාලතී මල් සුවඳ
පිරුණු ඒ නිශායම
සිතුවිලි නුවර පුරාම
ඇවිද ගිය අනන්තය...
ළං ළංව මායාව
නෙතු පියන් දැවටෙන
සුන්දරයි නුඹ මතක
විඩාබර මගේ සිතට...

August 26, 2011

උඹ ගියාට පස්සේ

පමා වී ආ වසන්තයට මල් පිපෙන්න ගත්තා විතරයි
අනේ මේ මූසල සීත සෘතුව මකලා දැම්මනෙ ඒ ඔක්කොම
පූදින්න උන්නු පැතුම් මල්.....
හිතක් පපුවක් නැති එකා

“ ඕ....ඉන්න බෑ සීතලයි වහලා දාපන් ඔය ජනේලෙ
ගේ ඇතුලට සීතල එනවා..”

ෂික් හිතේ හැටියට දුක විඳගන්නවත් නැති හැටි
චිරි.. චිරි.. චිරි.. ඩස්!!

August 25, 2011

පැතුම

රතු ඉර ළඟදි
ආලය දුරුවුවා
කහ ඉර ළඟදි
නැවතත් අප හමුවේවා!

August 24, 2011

රෝග වාර්ථාව

ඇසේ වැළපිලි
සිතේ සිතුවිලි
නැතේ හසරැළි
නෙතේ කඳුලැලි

ගතේ හිතනැති
හිතේ නුඹනැති
නුඹේ දුකරැඳි
දිවිය නිමිනැති

August 23, 2011

තනිකම

සීත හිම මංසලේ
තනිව සරනා පැයේ...
ඉකිබිදින හද මඬල
නුඹ සොයා එන රැයේ...
මට ද නුඹ නුඹට මා
සැනසුමයි ළං කලේ...
සැම ඉතින් දුරුවෙලා
ඉකිබිඳින මේ පැයේ...

August 22, 2011

ඇය..

සන්සාර සිහිනයේ
සක්මන් කරන්නී...
නුඹම පතාගෙන
සසර සරන්නී...
නුඹ නමින් සැමදා
පේවී හිඳින්නී...
ප්‍රේමයේ සොඳුරුතම
දිව්‍යාන්ගනාවී.....

August 21, 2011

බේගල්

පට පට ගගා ඇවිලෙන හඬ එයි එ මට
වැටුනා වගේ ගිනි හුළ බට කැලේ කට
තටු නැති උනත් ඉගිලිය හැක හතර වට
කට කලු දෙපා සතෙකුගෙ බේගල් වලට

August 20, 2011

හැබෑව

අහිමිවි යන නුඹ
ඇවිත් කීවා මට
අහිමිව යනවග
සිහිනෙන්

හැබැවක් වුනු
එකදු සිහිනයක්
නොවේ යැසි සිතු
සිතට ලැජ්ජයි

අහිමි වන්නට පරෙම
ඔව ඇවිත් සිහිනයෙන්
කිව් නිසා අදින් මට
අහිමි බව සිහිනයම

August 19, 2011

ගමේ අපි අපි මරාගෙන මරාගෙන දිනෙව්වා උන්
උන් දිනූ සතුටට උන් ජය පැන් බිබී නටත්දී
ගමේ අපි තාම මරාගන්නවා උන් වෙනුවෙන්
පලවෙනි දෙවෙනි බදාගෙන සුභ පතත්දී
අපි තාම මූණ බලන්නෑ පාරකදී ගමේ එකාගෙම..

August 18, 2011

පපුතුරේ සැඟවිලා
විඳගන්න ඔය සුසුම්..
ඇසිල්ලක් දෙනවාද
එකම එක වතාවක්

නෙතු පතුලේ කිමිදිලා
අහුලන්න පෙම් හැඟුම්..
නුඹේ නෙතු එළිය ඇති
ඇත්තමයි රත්තරන්....